Pages

Monday, September 9, 2013

දුරකථන එලියෙන් සැත්කම්!



විදුලිය විසන්ධි වීම් අප මේ රටේ නිතර නිතර අත් දකින සංසිද්ධියකි. එනමුදු  රෝහල් වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ස්ථානයන්හි මෙලෙස නිතර නිතර සිදුවන විදුලිය බිඳ වැටීම් අනුමත කලහැකි හෝ සමාව දිය හැකි සිදුවීම් නොවේ. මෙවැනි හදිසි අනපේක්ෂිත විදුලි බිඳ වැටීම් වලදී සැත්කම් සම්පූර්ණයෙන්ම අඩපණ විය හැක. යන්ත්‍ර වලට සම්භන්ද කර ඇති නිර්වින්දිත රෝගීන් හා දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් විය හැක. මෙබඳු හේතු නිසා සියලුම ප්‍රධාන රෝහල් ජාතික විදුලි සැපයුම මත සියලු බලාපොරොත්තු තබා නොගෙන හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට ජෙනරේටර පවත්වා ගනී.
එබඳු ජෙනරේටරද සම්මත තත්ව යටතේ ක්‍රියා නොකරන විටක රෝහලේ ප්‍රධාන විදුලි සැපයුමක් පිලිසකර කරන්නට යාමත්, එබඳු පිලිසකර කිරීමකදී සිදුවන අනපේක්ෂිත දීර්ඝ විදුලි බිදවැටීමක් පිලිබඳවත් ඉහත සදහන් කල ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක කල් වේලා ඇතිව දැනුවත් නොකිරීමත් රෝහල් පරිපාලනයේ නොසැලකිලිමත්කම හා අනුවණකම පෙන්වන අවස්ථාවකි.
එබඳු සිදුවීමකට පසුගිය දිනක අප ශල්‍යාගාරයේ සිටියදී මුහුණ දුනිමු. රෝගියා පූර්ණ නිර්වින්දනයට ලක් කර සැත්කම සිදු කරගෙන යාමේදී අනපේක්ෂිත දීර්ඝ විදුලි බිඳ වැටීම් සිදු වුනි. ඒ පිලිබඳව පරිපාලනයෙන් විමසා සිටි කල ඔවුන් පැවසුවේ රෝහලේ ප්‍රධාන විදුලි පද්ධතිය පිලිසකර කරන බවත් ජෙනරේටර මගින් අවශ්‍ය විදුලි සැපයුම අඛන්ඩව පවත්වා ගත නොහැකි බවත්ය. නමුත් ඒ වන විට සැත්කම ආරම්භ කර තිබුණි. අවසන අසල සිටියකුගේ S3 දුරකතනයක විදුලි ආලෝකය ආධාරයෙන් සැත්කම සිදුකරගෙන යාමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා තීරණය කලේය.
මේ දර්ශන සැත්කමේ ආරම්භක අවස්ථාවේ ලබා ගත් ඒවා පමනි. සැත්කමේ තීරණාත්මක අවස්ථා වලදීද විදුලිය නිතර නිතර බිඳ වැ‍ටුන අතර රෝගියාගේ වාසනාවට එබඳු අවස්ථාවල අධික රුධිර වහනය ආදී නිවැරදි ආලෝකය හා විදුලියෙන් ක්‍රියා කරවිය යුතු සැත්කම් උපකරණ භාවිතා කල යුතු අවස්ථා මතු නොවිනි.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...