Pages

Wednesday, July 24, 2013

වර්ජන කරන්නෙ අපි විතරද??



වැඩ කරන ජනතාව නිරතුරුව සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිති. එය අසාධාරණයැයි කිසිවෙකුට චෝදනා කල නොහැක. මන්ද සමාජයේ පැවැත්මට හා ප්‍රගමණයට වෘත්තියේ හා වෘත්තිකයන්ගේ පැවැත්ම අත්‍යාවශ බැවිනි. වෘත්තියකට අදාල වෘත්තීය ගරුත්වයෙන් බලධාරීන් හා සමාජය සලකයිනම් එබදු පරිසරයක වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කිසිවෙකුට අවශ්‍යතාවක් නොමැත. නමුත් වෘත්තිකයන් තුට්‍ටුවකට මායිම් නොකරන පාලක තන්ත්‍රයක් දිගින් දිගටම වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින විටක, වෘත්තීය ගරුත්වය හෑල්ලු කරමින් සිටින කලක ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග වලට එලඹීම හැර අන් මගක් නැත.
මෙබදු වෘත්තීය ක්‍රියාමාර්ග විවිධ ආකාර වලින් විවිධ අදියර වලින් ක්‍රියාත්මක වේ. පලමුව යෝජනා/ පැමිණිලි ඉදිරි පත් කිරීමෙන් අනතුරුව ඊට බලධාරීන් නෑසූ කන්ව සිටියහොත් මාධ්‍ය හමු, විරෝධතා, උද්ඝෝෂණද, ඊටද පය ගැටෙන දුහුවිල්ලක් තරම් වත් සැලකිල්ලක් නොලද කල අකුරට වැඩ, වැඩ වර්ජන වලට යමින් අදාල බලධාරීන්ගේ ඇස් ඇරවීමට සිදුවේ. මෙහිදී නිදි ගත් බලධාරීන්ගේ ඇස් ඇරීමට අවසන වන්දියට ගැනීමට සිදුවන්නේ තම වෘත්තිය හා එහි සේවාදායකයන්ය. මන්ද තම වෘත්තිය, එහි ගරුත්වය හා අයිතිවාසිකම් උදෙසා සටන් වැදිය යුත්තේ අදාල වෘත්තිකයන්ම බැවිනි. එම තත්ත්වයට ඔවුන් තල්ලු කරන්නේ කවුරුද යන්න වෘත්තීය ක්‍රියාමාර්ග නිර්දය ලෙස විවේචනය කරන සැවොම සොයා බැලිය යුත්තකි.
සමාජයේ විවිධ ස්ථර වල වෘත්තිකයන් විවිධ අවස්ථා වල විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වල යෙදෙති. ඒවාට යොමුවන සමාජ අවධානය හා ඒවාට ලැබෙන විවේචනද විවිධය. එබදු විවිධ වූ සමාජයක නිර්ධය විවේචනයන්ට ලක්වන වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඊට සාපේක්ශව අනෙකුත් වෘත්තීය ක්‍රියාමාරිග ගැන සමාජ අවධානය ගැන මෙහිදී සලකා බැලීමට අපේක්ෂා කරමි.

ලිපිය මුලදී සාකච්ජා කල අයුරින් වෘත්තිකයන්ට වෘත්තීය ගරුත්වයකින් සලකන්නේනම් ඔවුනට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නැත. මුර්ග පාලන තන්ත්‍රය එම අයිතිය පිලි නොගන්නාතාක් සිය ඉල්ලීම දිනා ගැනීමට සිය වෘත්තියම අවියක් කර ගැනීම හැර වෙන විකල්පයක් නැත.

වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රධානතම එකතුව වන GMOA හි සභාපතිවරයා පවසන ආකාරයට එය වෘත්තීය සංගමයක් නොව professional body එකකි. (සැබෑ වෘත්තීය ගරුත්වයකින වෛද්‍යවරුන්ට සලකන පාලන තන්ත්‍රයක නම් එබඳු professional body තිබුනාට කම් නැත. එහෙත් දහසකුත් එකක් ප්‍රශ්න ඇති ක්ෂේත්‍රයක ගැටලු ගැන පාලකයන් සංවේදී නොවන කල අපට අවශ්‍ය සැබෑ වෘත්තීය සමිතියක් බව මගේ හැඟීමයි. මුර්ග ආණ්ඩුව හමුවේ සභාපතිවරයා මෙබඳු දියාරු ප්‍රකාශ කිරීමට හේතු වූ අතීත කතා අපි වෙනත් ලිපියකින් විමසමු.)
ගැටලුව වන්නේ එවන් දියාරු, සුසිනිදු වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ වුවද වෛද්‍ය වෘත්තිකයන්ගේ සුලු හෝ වෘත්තීය ක්‍රියා මාර්ග මාධ්‍ය හා සමාජය නිර්ධය ලෙස විවේචනය කරන්නේ මන්ද යන්නයි. බොහෝ දෙනා දැකීමට අකමැති සත්‍ය අපි සාකච්ජා කරමු.

වෛද්‍ය වෘත්තීය ක්‍රියා මාර්ග වලදී නැගෙන චෝදනා අප විමසා බලමු.

"මුං srike කරනව! අරෙහෙ ලෙඩ්ඩු මැරෙන්න දීල"

Strike නිසාම මල ලෙඩෙක් මා අසා නැත. මන්ද දීප ව්‍යාප්ත වර්ජනයකදී වුවද කිසිදු රෝහලක හදිසි ප්‍රතිකාර සේවා, දැඩි සත්කාර ඒකක, ළමා හා ප්‍රසව ඒකක, හදිසි සැත්කම් බිඳ වැටීමට වෛද්‍යවරුන් ඉඩ නොදෙන බැවිනි. සාතිශය බහුතරයක් වාට්‍ටු වල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. අවම වශයෙන් oncall වෛද්‍යවරයා හෝ වාට්‍ටුවේ අවශ්‍යතා සඳහා දායක වේ. මන්ද අද වාට්‍ටුවේ නොකලහොත් ඒවා දෙගුණ තෙගුණ වී හෙට දින කිරීමට සිදු වන්නේද ඔවුන්ටම බැවිනි. තවද පිලිකා රෝහල, ලමා රෝහල්, මාතෘ රෝහල් යන මේ කිසිවක වැඩ වැරුම් සිදු නොවේ. 

"මුංගෙ strike නිසා අර දුර ඉඳන් බේත් ගන්න ආපු ලෙඩ්ඩු රස්තියාදු වෙනව"

ඇත්ත. වැඩ වර්ජනයක මූලික ඉලක්කය වන්නේ වෘත්තීය සේවා ඇණ හිටීමදී සමාජයට ඉන් වෙන බලපෑම ගැන පාලකයන්ට ඉඟියක් ලබා දීම. ඒ සඳහා ගත හැකි අවම හා රෝගීන්ගේ පැත්තෙන් සුරක්ෂිතම ක්‍රියාමාර්ගය තමයි සායන වර්ජනය කිරීම. ඒක සමාජයට දැනෙනව. මාධ්‍ය වලට දැනෙනෙව.  පාලකයට දැනෙනෙව. නමුත් රෝගීන්ගෙ පැත්තෙන් ජීවිත හානි වන තරමට ඒ ක්‍රියාමාර්ගය දරුණු නෑ. මන්ද දැඩි අසනීප තතවයක් තිබෙන රෝගියෙකුට සායනය නොමැති වුවත් හදිසි ප්‍රතිකාර ඒකකය හරහා රෝහල් ගත විය හැකි නිසා. සුවහසක් රෝගීන්ට රස්තියාදුවක් වෙනව තමයි. දවසක බේත් වඩිය මග හැරෙනව තමයි. නමුත් ඒක තමයි වෘත්තීය ක්‍රියා මාර්ගයක ස්වරූපය. කරන්නම දෙයක් නැති තැන තම වෘත්තියම වන්දියක් කර ගන්න සිද්ධ වෙනව තමයි. ඒත්  තේරුම් ගත යුතු දේ තමයි ඒ ක්‍රියා මාර්ගය ගත හැකි අවම හා සුමටම ක්‍රියා මාරගය බව.

"පොඩ්ඩ බැරිවුන ගමන් මුං strike කරනව!!! මේ උකසට ගන්නේ රෝගීන්ගේ ජීවිත නේද?"

ලිපියේ මුලදී පැහැදිලි කලාක් මෙන් පාලකයන්ගේ ඇස් ඇරීමට, අවසන අකමැත්තෙන් වුවද අවියක් කරගත යුත්තේ සිය වෘත්තියය. එනමුදු කිසිදු සංකීර්ණ වෛද්‍ය වැඩවැරුමකදී වුවද රෝගීන්ගේ ජීවිත කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවීමට වෛද්‍යවරුන් කටයුතු කරන ආකාරය ඉහත විස්තර කර ඇත. තවද ඕනෑම වෘත්තීය සමිති ක්‍රියාවලියක අවසන් පියවර ලෙස ඕනෑම වෘත්තීය සමිතියක් උකසට ගන්නේ සිය සේවා දායකයන්ය. හෙද, පරිපූරක වෛද්‍ය, සෞඛ්‍ය සුලු සේවා ආදී වර්ජන වලදී ඔවුන්ද උකසට ගන්නේ රෝගීන්ය. ඇතැම් විට ඊනියා විවේචකයන් මහත් සංවේගයෙන් විමසන රෝගී ජීවිත වලට ඇති අවදානම එවන් වැඩ වර්ජනයකදී වෛද්‍ය වැව වර්ජනයකට වඩා දෙතුන් ගුනයකින් වැඩි විය හැක.

සාමාන්‍යයෙන් හෙද වර්ජන වලදීද ඔවුන් ලිපිය මුල පැහැදිලි කලාක් මෙන් මාතෘ, ලමා, පිලිකා, හදිසි අනතුරු, දැඩි සත්කාර ඒකක වල කටයුතු බිද වැටීමට ඉඩ නොදේ. නමුත් හෙද වර්ජනයෙක් සිදු වූ විටක ශල්‍යාගාර කටයුතු සම්පූර්ණයෙන් බිඳ වැටේ. වාට්‍ටු වල සාමාන්‍ය ඖෂධ ලබා දීමේ කටයුතු බිඳ වැටේ. ඇතැම් හෙද සොහොයුරියන් වැඩ වර්ජන සාර්ථක කර ගැනීම සදහා ඖෂධ කබඩ් අගුලු දමා යතුරද ගෙදර ගෙන යන බැවින් වාට්‍ටුවේ ඖෂධ තිබුනද, රෝගීන්ට ඒවා අත්‍යාවශ්‍ය වුවද, ඖෂධ නික්ශේපනය කල හැකි සේවකයන් සිටියද, ඒවා සිදු කර ගත නොහැකිව අසරණ වන අවස්ථා එමට ඇත. කණගා‍ටුවට කරුණ වන්නේ මේවා රෝහල් බිත්තියෙන් පිටතට නොයාමත්, ඒවා වාර්ථා කිරීමට ජනමාධ්‍ය උනන්දුවක් නොමැති වීමත්ය. 

පරිපූරක වෛද්‍ය සේවකයන්ගේ වැඩ වර්ජනයකදී මෙම තත්ත්වය මීට වඩා සිය දාස් ගුණයකින් දරුණු තත්ත්වයක් වේ. පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් යනු භෞත චිකිත්සක, රෝහල් රසායනාගාර, විකිරණවේදී, වෛද්‍ය සේවා සැපයුම් ආදී ක්ෂේත්‍ර වේ. මෙවැනි වර්ජන හමුමේ ජනමාධ්‍ය නිද්‍රාශීලීය. ඉඳහිට ඇතුලු පි‍ටුවක් කුඩා ප්‍රවෘත්තියක් පලවූවද එයද පලවන්නේ " පරිපූරක වෛද්‍යවරුන් වර්ජනයේ!" යන වැකි සමඟිනි. මේවා දකින ජනතාව සිතන්නේ මේ වර්ජනය සිදු කරන්නේද වෛද්‍යවරුන් බවය. එහිදීද සමාජ විරෝධයට බදුන් වන්නේ කොහේවත් සිටින වෛද්‍යවරුන්ය. මීට වසර 1 1/2 පමණ පෙර ඔඩු දිවූ පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක් මගේ සිහියට නැගේ. එය ආරම්භ වනදා පුවත්පත් වල මුල් පි‍ටුවේ කුඩා තීරයක එය සදහන් විය. එම වර්ජනය පුරා සතියකට අධික කාලයක් ඇදී ගියේ මුලු සෞඛ්‍ය සේවාවම නන්නත්තාර කරමිනි. එහෙත් ජන මාධ්‍ය නිහඩව සිටියේය. නිකමට හෝ ප්‍රවෘත්තියක් පල වූයේ වර්ජනයේ 6 වන දිනය. සෞඛ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත කඩා වැටීමකට ලක්වූ මොහොතක මාධ්‍ය හැසිරුනේ එපරිද්දෙනි. 

රසායනාගාර සේවකයන් වැඩ වර්ජනය කරන දාට රෝහලේ කිසිදු රසායනාගාර වාර්ථාවක් ලබා ගත නොහැක. රෝග විනිශ්චයේ සිට ප්‍රතිකාරය දක්වා ඇති ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන්ම ඇණ හිටී. විකිරණවේදීන් වැඩ වර්ජනය කරන දාට X ray සිට CT, MRI ආදී කිසිදු පරීක්ෂණයක් සිදු නොවේ. මා ඉහත විස්තර කරමින් සිටි පරිපූරක සේවා වර්ජනයේදී මුල් දින කිහිපයේදී රසායනාගාර සේවකයන් ඉතා අත්‍යාවශ්‍ය වූ platelet count (එවකට ඩෙංගු රෝගය දරුණු ලෙස හිස ඔසවා සිටියේය) , serum bilirubin වැනි සේවාවන් මා සේවය කල ළමා වාට්‍ටු සදහා ලබ දුන්නද අවසන් දින 2 වෙද්දී එම පහසුකමද නතර කලේය. ඒ දිනවල සියලු පරීක්ෂණ සදහා රෝගීන් හා සාම්පල් පෞද්ගලික රෝහල් කරා ගෙන යා යුතු විය. එහිදී ප්‍රවාහන වියදම හා පරීක්ෂණය සදහා වූ වියදම රජයේ රෝහල විසින් ගෙවිය යුතු විය. සාමාන්‍ය රුධිර/මුත්‍රා පරීක්ෂණයක සිට ඉතා හදිසි හා මිල අධික CT/MRI පරීක්ෂණ දක්වා රජයෙන් මෙලෙස මුදල් ගෙවීය. එහිදී පෞද්ගලික රෝහල වාර්ථා නිකුත් කරන්නේ කුට්ටි වශයෙන් බැවින් ඉතා හදිසි වාර්ථා අපට අවශ්‍ය වේගයෙන් ලබා ගත නොහැකි වූ නිසා ඇතැම් සාම්පල් එම රෝගීන්ගේ භාරකාරයන් අතේම යවා ඔවුන්ගේ වියදමින් ඒවා කරගෙන එන ලෙස දන්වා සිටියෙමු.  එම පරීක්ෂණ පෞද්ගලිකව කරගැනීමට වත්කමක් නැති අසරණ දරුවන් වෙනුවෙන් අප මුදල් එකතු කර ලබා දුන් බව මට මතකය. ගැටලුව වන්නේ රෝහලේ දින 7 කට අධික කාලයක් වර්ජනය කරමින් ඒ හේතුව නිසා පුද්ගලික අංශයට පැමිණෙන සාම්පල් පරික්ෂා කර මුදල් ලබා ගන්නේද මෙම පරිපූරක වෛද්‍ය සේවකයන්ම වීමයි. ( රෝහලේ වර්ජනය දාට පුද්ගලික සායන පවත්වන වෛද්‍යවරුද ඇත. එය ඔවුන්ගේ ආචාර ධර්ම පිලිබඳ ගැටලුවකි. මම එසේ නොකරන නිසා මට එහත දෙපාර්ශවයම විවේචනය කිරීමේ අයිතිය ඇත. කෙසේ නමුත් විශේෂඥ වෛදයවරුන් එබදු දිනවල පුද්ගලික සායන වලට නොයා සිටින බව මම දනිමි.)

වෛද්‍ය සේවා සැපයුම් සේවකයන්ගේ වර්ජන වලදීද ඇතිවන කම්පනය සුලු ප‍ටු නොවේ. වරක ඔවුන්ගේ වැඩ වර්ජනයකදී වාට්‍ටු වලට ඔක්සිජන් සැපයුම අඩාල වී අප අසරණ වූවා මට මතකය. එම වර්ජනය ඔඩු දුවද්දී අවශ්‍ය ඖෂධ/ නික්ෂේපන/ සිරින්ජ ආදී අනෙකුත් දෑ දැඩි හිඟයට පත් වූ විට මා සේවය කරමින් සිටි රෝහලේ බලධාරීන් ගබඩා කඩා ඒවා ලබා ගෙන වාට්‍ටු වලට ලබා දීමට තීරණය කලේය. ඒ අනුව ගබඩා කඩා බැලූ ඔවුන් දු‍ටුවේ කුමක්ද? ඒ අල්ල පනල්ලේ වර්ජකයන් විසින් සේලයින් බෝතල් හැර අනෙකුත් ඖෂධ රහසේම වෙනත් ආරක්ෂිත ස්ථානයකට පිටමන් කර ඇති බවය. ලංකාවේ වැඩ වර්ජන සිදුවන්නේ එසේය.

සුලු සේවක හා සෞඛ්‍ය කම්කරු සේවක වර්ජන ඕනෑ තරම් තිබේ. මසකට දෙකකට ඔවුන්ගේ වැඩ වැරුමක් නොතිබුනොත් එය ලංකාව නොවේ. එහිදීද සාමාන්‍ය රෝහල් කටයුතු වලට සිදු වන බාධාව සුලු ප‍ටු නොවේ. සාම්පල ප්‍රවාහනය, ඖෂධ ප්‍රවාහනය, රෝගීන් ප්‍රවාහනය ආදී කුදු මහත් කටයුතු එහිදී අඩපණ වේ. සැත්කම් නවතී. එහිදී ඔවුන්ගේ කාර්යභාරය සිදු කිරීමට සිදුවන්නේ අනෙකුත් කාර්ය මණ්ඩල වලටය. එයත් බොහෝ විට වෛද්‍යවරුන්ටය. සුලු සේවා වර්ජන වලදී මම අනේක වරක් සාම්පල ප්‍රවාහනය හා වාර්ථා ගෙන ඒමේ යෙදුනෙමි. වාට්‍ටු වල හෙදියන් සිටියද ඔවුන් මෙබඳු අවස්ථා වල සංවේදී වන්නේ නැත. එය සිය කාර්ය පටිපාටියෙන් බැහැර ක්‍රියාවක් නිසා ඔවුන් එබදු තැනට ගැලපෙන පරිදි අනුගත් වීම් කිසි ලෙසක නොකරති. මා කණිෂ්ඨ වෛද්‍යවරයෙකු සමයේ අප වාට්‍ටුවේ සිටින ජේෂ්ඨතම හෙද සොයුරිය සුලු සේවා වැඩ වර්ජනයක් සමයේ වාර්ථා සොයා රසායනාගාර වල රස්තියාදු වූවා මට මතකය. එය එබඳු කැපකිරීමක් මා දු‍ටු එකම අවස්ථාවය. තම ජේෂ්ඨතම හෙද සොයුරිය එබඳු කැපකිරීමක් සිදු කරද්දී පවා, "එපා miss යන්න, අපි ගිහින් ගේන්නම්" කීමට තරම් අනෙක් හෙදියන් නිහතමානී නොවීය.

ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන අනෙකුත් වෘත්තීන්ගේ වර්ජන වල කෙරුවාවය. එහෙත් ජන ජීවිත උකසට ගෙන වර්ජන කරන්නේ සෞඛ්‍ය සේවකයන් පමණද?

ගුරුවරු වර්ජන කරති. ප්‍රශ්න පත්‍ර බැලීමෙන් වැලකී සිටිති. ඔවුන් උකසට ගන්නේ රටේ අනාගතයයි. බැංකු සේවකයන් වර්ජනය කරති.විදුලි සේවකයන්, තැපැල් සේවකයන් වර්ජනය කරති. ඔවුන් උකසට ගන්නේ රටේ ආර්ථික ජීවනාලයයි. ප්‍රවාහන සේවකයන් වර්ජනය කරති. ඔවුන් උකසට ගන්නේ රටේ ජන ජීවිතයයි.

"දොස්තරල හැමදාම, පොඩි දේටත් strike" කියන චෝදනාවට කිවයුත්තේ මෙපමණකි. පසුගිය වසර 3 සලකා බැලූ කල වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වර්ජන තිබුනේ අවස්ථා 2ක පමණි. ඒ ද සංකේත වර්ජන ලෙසිනි. වරක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව නැගී සිටි වෛද්‍ය සභාවේ ලේකම්වරයාට මැරවරයන් යොදා පහර දුන් අවස්ථාවකි. අනෙක වෛද්‍යවරු නිසි වැ‍ටුප් තලයක පිහි‍ටුවන ලෙස ඉල්ලමිනි. නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කර ඊට නීති රාමුවට පිටින් පිලිගැනීමක් ලබා දීමට රජය කටයුතු කරද්දී ඊට එරෙහිව නැගී සිටින්නන්ට මැර ප්‍රහාර එල්ල කිරීම කිසි ලෙසක "පොඩි දෙයක්" නොවන වග සිහි තබා ගත යුතුය. එහිදී වෛද්‍යවරුන් නැගී සිටින්නේ සිය වෘත්තිය පමණක් නොව රටේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවයේ පැවැත්ම සදහා බව ඊනිය විවේචකයන් ලැජ්ජාව පසක තබා හෝ තේරුම් ගත යුතුය. රාජ්‍ය සේවාවේ පරිපාලන තලයේ සිටියදී හිඟන වැ‍ටුපක් ලබන වෛද්‍යවරුන්ගේ වැ‍ටුප නිසි තලයක පිහි‍ටුවීමට ඉල්ලීම මට නම් කිසිම ලෙසක "පොඩි දෙයක්" නොවේ.  මන්ද දවස අවසන අපි බඩු ගන්නේද රටේ අනෙකුත් ජනතාව බඩු ගන්නා කඩෙන්ම බැවිනි. බැංකු ණය වාරික වලට අපේද වැ‍ටුපෙන් කොටසක් කැපෙන බැවිනි. අපෙන් යැපෙන දරු පවුලක් සිටින බැවිනි. 

රටේ අනෙකුත් වෘත්තීන්ගේ වැඩ වර්ජන ගැන මගේ දැනුම අල්ප වුවද හෙද නිලධාරීන් පසුගිය වසර 3 තුල එක් දින වර්ජන 3ක්ද, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් පසුගිය වසර 3 තුල වර්ජන 3ක්ද නිරත වී ඇත.

දීර්ඝ ලිපියක අවසානයේදී කිව යුත්තේ ඉහත කරුණු කාරණා ගෙන හැර දැක්වුයේ කිසිදු වෘත්තියක් අපහසුතාවට පත්කිරීමට නොව සියලුම වෘත්තීන් වැඩ වර්ජන වලදී අඩු වැඩි වශයෙන් සිය සේවායෝජකයන් උකසට ගන්නා බව පැහැදිලි කිරීමටය. අවාසනාවකට රටේ විවිධ ක්ෂේත්‍ර වල වර්ජන සිදු වුවද මාධ්‍ය හා web Comment කරුවන් උඩ පැන පැන තලන්නේ වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග බව රට ලෝකය ගැන දැනුම් තේරුම ඇති සැවොම දනිති. ඊට ආසන්නතම හේතුව හීනමානයද, නැතහොත් වෙනත් වර්ජන කෙරෙහි ඇති අසංවේදීබවද යන්න පිලිබදව එතරම් පැහැදිලි නැත. වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට පසු නැවත මාධ්‍යට රස බොජුන් වන්නේ ගුරු හා ප්‍රවාහන වර්ජන පමණි. අනෙක් වර්ජන වල වින්දිතයන් ගැන දන්නේ වින්දිතයන්ම පමණි.
සියලුම වෘත්තිකයන්ට සිය වෘත්තියට අදාල ගැටලු වලදී වෘත්තීය ක්‍රියා මාර්ග වලට එලඹීමේ අයිතිය තිබිය යුතුය. පුද්ගලිකව මම වර්ජන අනුමත කරමි. පලමුව මම හා මගේ වෘත්තිය ‍රැකිය යුතුය. එසේ නොවන තාක් කල් අනුන්ට සේවය කිරීමෙන් පලක් වෙද? ගැටලුව වන්නේ එබදු වර්ජන කෙරෙහි සමාජ හා මාධ්‍ය අවදානය විෂම වීමේ අවාසනවයි. අවාසනාවට ඇත්ත කතාව එයයි!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...