Pages

Wednesday, May 1, 2013

නූතන වහල් සේවය හා සීමාවාසික වෛද්‍යවරයා



මම සීමාවාසික වෛද්‍යවරයෙක්මි. ජීවිතයේ ක‍ටුකම කාල පරිච්ජේදය පසු කරමින් සිටින අවාසනාවන්ත වෛද්‍යවරයෙක්මි. වසර 6ක් වෛද්‍යපීඨය තුල තුරුණු විය දියකරන හරින සෑම වෛද්‍යවරයෙකුම තවත් වසරක කාලයක් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ වසරක කාලයක් 24 පැය සේවාමුරයක් සාර්ථකව සම්පූර්ණ කල යුතුය. ශ්‍රී ලංකා වෛද්‍යසභාවේ ලියාපදිංචිය ලත් වෛද්‍යවරයෙකු බවට පත් වන්නේ ඉනික්බිතවය. මා දැන් ගත කරමින් සිටින්නේ එලෙස බොහෝ වෛද්‍යවරුන් පිරිසක් අනේක විද දුක් කම්කටොලු විදිමින් වසරක් පමණක් සම්පුර්ණ කල කාලපරිච්ජේදයකි.

සීමාවසික කාලපරිච්ජේදය යනු කෙනෙකුට අනුමාන කල හැකි දුෂ්කර කාල සීමාවක් නොවේ. එය අත් විදීමෙන් පමණක් අවබෝධ කරගතයුතු ක‍ටුක හා අතිශය වෙහෙසකර කාල සීමාවකි. 

ඔබ සීමාවාසික වෛද්‍යවරයෙකු නම් ඔබ 24 පැයෙහිම රෝහල් සංකීර්ණයේ ‍රැදී සිටිය යුතුය. සියලුම රෝගීන්ගේ ඔනෑම පැමිණිල්ලක්, රෝගී තත්වයක් පිලිබද මුල්ම දැනුන් දීම ලැබෙන්නේ ඔබටය.  එබඳු ඕනෑම දැනුන් දීමකදී ඔබ වහාම රෝගියා වෙත වාර්තා කර ඉදිරි පියවර ගත යුතුය. එහිදී අල්ප හෝ ප්‍රමාදයකට ඉඩ නැත. ඔබට පණිවුඩට ලැබන්නේ මධ්‍යම රාත්‍රියේද, අනෝර වර්ෂාවේද, ඔබ තදබල අසනීපයකින් පීඩ විදින අවස්ථාවකද යන්න අදාල නැත. ඔබ පැමිණිල්ලේ සිට විනාඩි කිහිපයක් තුල රෝගියා අසලින් ප්‍රාතිර්භූත වී ඉදිරි කටයුතු ලහි ලහියේ ආරම්භ කල යුතුය. එම පැමිණිල්ල මද කැස්සක සිට මරණීය රෝගී තත්ත්වයක් දක්වා ඔනෑම දෙයක් විය හැක. පැමිණිල්ල සුළු වුවද බරපතල වුවද ඔබ වහාම ඒ සදහා යොමු වී තිබිය යුතුය.
නව රෝගියෙක් වාට්‍ටුවට ඇතුලු වූ සැනින් එම රෝගියාගේ රෝග ලක්ෂණ විමසා, පරික්ෂා කර බලා මූලික ප්‍රතිකාර ආරම්භ කල යුත්තේ ඔබය. ඇතැම් විට දරුණු රෝගී තත්ත්වයන්ගෙන් පීඩ විදින රෝගීන් විනාඩි 10-15 වරක් පරික්ෂා කරමින් ‍රැය පහන් කිරීමට සිදු වන්නේ ඔබටය. රාත්‍රිය එලෙස ගතවුවද පසු දින උදේ පාන්දරම professionalism එක ‍රැකීමට ජැන්ඩි පහට ඇඳගෙන උදේ සුපිපුනි මලක් බඳුව සායනික රවුමට පෙනී සිටය යුත්තේ ඔබය.

කෙතරම් ගුණ කලද වාට්‍ටුවෙන් මුදා හරින අවස්ථාවේ රෝග විනිශ්ච කාඩ්පත් රාශියක් ලිවීමට ඇතිවිට රෝගීන්ගේ හා ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ගේ ‍රැවුම් ගෙරවුම් වලට ලක්වන්නේ ඔබය. දවසට වේලක් හෝ කලාතුරකින් වේල් දෙකක් කා කාල කලමණාකරණය කර ගැනීමට සිදු වන්නේ ඔබටය. ඥාතීන් විවාහ වෙද්දී, ගෙදර දාන මාන පවත්වද්දී, හිත මිත්‍රාදීන් මිය පරලොව යද්දී ඒවා දෙස ඉවත බලා නොදැක්කා සේ සිටීමට සිදු වන්නේ ඔබටය.

වාට්‍ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කුමන හෝ අයෙකුගෙන් හෝ අතපසු වීමක් සිදු වුවහොත් එය අනිවා ඩෙෆා ඔබේ ගිණුමට බැරවනු ඇත. මොකාක් හෝ කෙලවරක් අල්ලා ඔබේ බො‍ටුව හොර කිරීමට හැමෝම උත්සාහ කරනු ඇත. කෙතරම් ක‍ටු කා ගෙන වැඩ කන්දරාව ඇද්දද "පහත් තැනින් යයි ගලා ජලේ..." කියා පශ්චාත්තාපයක් ඇතිවන්නේ එවිටය.

හෙද හා කනි‍ටු කාර්ය මණ්ඩලය සමග බොහෝ විට සහයෝගයෙන් කටයුතු කල හැක. එනමුදු වෘත්තීමය විෂමතා, හීනමානය, වෘත්තීය අයිතිවාසිකම්-සීමාවන් සම්බන්ධයෙන් සිදුවන ගැ‍ටුම් හා මතබේදාත්මක අවස්ථාවන්හීදී අසරණ වන්නේ ඔබය. අපි උදාහරණයක් ගනිමු. රෝගියෙකුගේ සාමාන්‍ය නිරීක්ෂණ වාර්තා පවත්වා ගෙන යන්නේ හෙද කාර්ය මණ්ඩලයයි. යම් හෙයකින් ඔවුන් එම කාර්යයෙන් සිදු නොකර සිටියහොත් එය ඔබේ වෘත්තීමය සීමාවට අදාල නොවන දෙයක් සේ සලකා සිටීමට ඔබට නොහැක.කනි‍ටු කාර්ය මණ්ඩලය රුධිර,මුත්‍රා සාම්පල පරීක්ශණාගාරය වෙත ගෙනයාම ප්‍රමාද කලහොත්, එහි වාර්ථා ගෙන ඒම ප්‍රමාද කලහොත්, පාරවියලනය සදහා රුධිරය ගෙන ඒම ප්‍රමද කල්හොත් අපහසුතාවයට පත්වන්නේ ඔබය. මන්දයත් පසුදින විශේෂඥ වෛද්‍ය සායන රවුමේදී ඔබව ප්‍රශ්න කිරීමට ලක්වන බැවිනි. එහිදී ඇතැම් විට ඔබට හෙද කාර්ය මණ්ඩලයේ හෝකනි‍ටු කාර්ය මණ්ඩලයේ අතපසුවීම මතුකල පෙන්විය හැකි වුවද බොහෝ වේලාවට දෝශදර්ෂණයට ලක් වන්නේ ඔබය. මන්දයත් බොහෝ විට ප්‍රධාන වෛද්‍යවරයා සීමාවාසික වෛද්‍යවරයාගේ වැරදි මිසක ස්වකීය අනෙකුත් කාර්ය මණ්ඩලයේ වැරදි දැකීමට උනන්දු නොවන බැවිනි. සීමාවාසික වෛද්‍යවරයා යනු ඔහුට මාස 6ක වහල් සේවයට ගන්නා වහලෙකුට වැඩියමක් නොවන බව මගේ හැඟීමයි. එනමුදු අනෙකුත් කාර්ය මණ්ඩලය ඔහුට එසේ නොවේ. ඔහු ඔවුන් සමඟ දිගටම සිටිය යුතුය. නැතහොත් වාට්‍ටුවේ පරිපාලන කටයුතු බිද වැටේ. යම් හෙයකින් වාට්‍ටුවේ සාමාන්‍ය ක්‍රියාවලියේ බිදවැටීමක් සිදුවී එය ආන්දෝලනාත්මක සිදුවීමක් බබට පත්වුවහොත් එහිදී ප්‍රශ්න කිරීම් වලට ලක්වන්නේ ඔහුය. එමනිසා අනෙකුත් කාර්ය මණ්ඩලය යාප්පුවෙන් තබා ගැනීම ඔහුට වැදගත්ය. එනමුදු සීමාවාසික වෛද්‍යවරයාට එලෙස ඔහු හා ගැටීමට නොහැක. මන්ද මාස 6 අවසන තමා සාර්ථකව සීමාවාසික අර්ධයක් අවසන් කල බවට විශේෂඥ වෛද්‍යවරයාගෙන් සහතික කරගත යුතු වීමය. එය තීරණාත්මකය. නිසි කලට එම සහතික වීම නොලැබුනහොත් ඔබ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම ප්‍රමාද වනු ඇත. ඉනික්බිති නොදැනුවත්වම ඔබ ඔබේම සගයන්ට වඩා කනිශ්ඨ වනු ඇත. විශේෂඥ වෛද්‍යවරයා පවා තම වෘත්තීමය කනි‍ටු වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී නොසිටින බව දන්නා කවුරුත් උඩ පැන පැන තැලෙන යකඩය තලති.

සිය සීමාවාසික කාලසීමාවක් තුල මෙතරම් ශ්‍රම සූරා කෑමකට ලක්වන වෙනත් වෘත්තිකයන් පිරිසක් ඇතැයි මම නොසිතමි. දිනකට පැය 24ක සේවා මුරයක් තිබෙන පැයකට රුපියල් 43ක ගෙවීමක් ලැබෙන වෙනත් වෘත්තීන් ඔබ අසා තිබේද? වෛද්‍යවරුන් ඉගන ගන්නේ රටේ පීඩිත ජනතාවගේ බදු මුදලින් බවත් එම නිසා ඔවුන් රටට හා එහි ජනතාවට ණය බවත්, බොහෝ දෙනා web comments වල කියමින් මොර නගති. එබැවින් ඔවුනට පුද්ගලික සායන පැවැත්විය නොහැකි බවත්, විදේශ ගතව සේවය කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, ඉතා කලාතුරකින් හෝ සායන පමණක් වර්ජනය කරමින් සිදුකරන වෘත්තීයමය අරගල වලට සම්බන්ධ වීමට අයිතියක් නොමැති බවත් ඔවුන් පවසති. (වෛද්‍යවරුන්ට පුද්ගලික සායන පැවැත්වීමට ඇති නීතිමය හා සදාචාරාත්මක අයිතිය ගැන වෙනති ලිපියකින් විමසමු). කෙසේ නමුදු කිසිවෙකු කතා නොවන පැතිකඩ මෙබදුය.
මීට වසර තුනකට පමණ පෙර සිදුකල ගණනය කිරීම් වලට අනුව රජයට වෛද්‍ය උපාධිදාරියෙක් බිහි කිරීමට රුපියල් ලක්ෂ 13 වැය වේ.( එකී වාර්තාව අනුව වැඩිම මුදලක් හෙවත් රුපියල් ලක්ෂ 18 වැය වන්නේ දන්ත වෛද්‍ය උපාධිය සදහාය. වසරකට බදවා ගන්නා දන්ත උපාධි අපේක්ෂකයන් 50 පමණ ප්‍රමාණයක් වෙනුවෙන් වෙනම පීඨයක් පවතවා ගෙන යාම නිසා එක් දන්ත උපාධි අපේක්ෂකයෙකුට වැඩිම මුදලක් රජයට වියදම් කිරීමට සිදුවී ඇතැයි මම සිතමි). කෙසේ නමුදු පුරා වසරක කාලයක් තිස්සේ පැය 24ක් අතිකර දුෂ්කර කාලයක් සේවය කරන වෛද්‍යවරයෙක් රට හා එහි ජනයා විසින් ඔහු වෙනුවෙන් වැය කල මුදලින් වැඩි කොටසක ණය ගෙවා ඇතිබව මගේ හැඟීමයි. web comment පණ්ඩිතයන් පරිගණක ඉදිරියේ නිකරුනේ කාලය කාබාසිනියා කරමින් අනුනට ඇගිල්ල දිගු කලද වසර දෙක තුනක් සේවා කාලයක් සපුරන වෛද්‍යවරයා තවදුරටත් රටට ණයකරුවෙක් නොවේ. ( මෙකී පණ්ඩිතයෝ කිසිම දිනෙක රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවී උපාධිය ලබා ගත් විගස පුද්ගලික අංශයට යොමුවන, නැත්හොත් විදේශ ගතවන ඉංජිනේරුවරුන්, ගණකාධිකාරීන්, නීතිඥයන්, මිනින්දෝරුවරුන් ගැන සෙවීමට නොපෙලෙබෙති. ඔවුන්ගේ එකී හීනමානය ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු).

කවදා අවසන් වේදැයි දින ගණින මෙම සීමාවාසික කාල පරිච්ඡේදය අවසන් වීම යනු නිවන් දැකීම බඳු අවස්ථාවකි. කෙතරම් ක‍ටුක වුවද, කෙතරම් පීඩාවට ලක් වුවද එහි රසවත් මතකයන් කිසිදා අමතක කල නොහී. සීමාවාසික කාලයේ තමා සමඟ හවුලේ කටයුතු කරන වෛදය සගයන් සිය සමීපත්මයන් බවට පත්වේ.  ලැබූ දුෂ්කර පුහුණුව හා අභියෝගාත්මක අවස්ථා ඇසුරෙන් පිරිපුන් වෛද්‍යවරයෙක් බිහිවේ. තව තවත් කල් ගතවෙද්දී තමා විඳි දුෂ්කරතා අමතක වීමෙන් අලුතෙන් සේවයට එක් වෙන කනිෂ්ඨ වෛද්‍ය සගයන්ටද ජේෂ්ඨයෙකු ලෙස පීඩාකාරී ලෙස හැසිරීමට පෙලෙඹේ. අවාසනාව එතැනය.
වෛද්‍යවරුන් ලෙස අප වෙනස් කර ගත යුතු  ආකල්පය එතැනය.

කනිෂ්ඨ හෝ වේවා ජේෂ්ඨ හෝ වේවා, ඒ අපේ එකෙකි. ඌට තැලීම හෝ යමෙකුට තැලීමට ඉඩ දීම අපි අපේම අභිමානයට පහර ගසා ගැනීමකි. අපි සැවොම අපේ වෘත්තිය ගරුත්වය හා අයිතිවාසිකම් වෙනුවෙන් එක්ව පෙනී සිටිමු.
Related Posts Plugin for WordPress, Blogger...